Sunday, November 20, 2011

නෙට්වර්ක් පන්තිය දසවෙනි දවස (ගේට්ටුව)

අළුත් post එකක් දාන්න ටිකක් නෙමෙයි ගොඩක් පරක්කු උනා. මම හිතන්නේ මාස දෙකක් විතර ගියා. කාර්යබහුලත්වය තමයි සේරටම හේතුව, අද කතාකරන්න යන්නේ අන්තර්ජාලය භාවිතාකරනවිට වැදගත්වන දෙයක් ගැනයි. මේක කියවන අය දන්නවා ඇතිනේ ADSL router වල default gateway කියලා එකක් තියෙනවා. ඒක IP address එකක්. රවුමෙන් ඇවිල්ලා කියන්න හදන්නේ ඔන්න ඔය address එක භාවිතාකරන එක ගැනයි. ඕනෑම adsl router එකකම පාහේ ඉහත සදහන් කරපු default gateway එක router එකේ යටිපැත්තේ හෝ එයත් සමග ලැබෙන user manual එකෙහි අනිවාර්යයෙන්ම සදහන් කර තිබෙනවා. ඔය ip address එක පාවිච්චි කරලයි router එක configure කරගන්නේ. නමුත් පසුව මේ ip address එක අපිට අවශ්‍ය  ip address එකක‍ට වෙනස්කර ගැනීමට හැකියි. දැන් රූපයක් බලමු.




1 රූපය

රූපයේ හැටියට බැලුවොත් computers තුනක් switch එකකට සම්බන්ද කර එම switch එකටම Gateway එක 192.168.0.1 වන router එකක්ද සම්බන්ද කරලයි තියෙන්නේ. මෙහි එක් computer එකක ip address එක 192.168.0.20/24 ද, default gateway එක 192.168.0.1 ලෙසද යොදලයි තියෙන්නේ. අපිට internet භාවිතා කිරීමට අවශ්‍යනම් අනිවාර්යයෙන්ම default gateway කියන තැනට router එකෙහි ip address එක දිය යුතුමයි. මෙය තව දුරටත් පැහැදිළි කරනවානම් එක උදාහරණයක් ගමු. 

 අපි හිතමු ගෙදර වත්ත වටේටම තාප්ප ගහලා එළියට යන්න එක ‍ගේට්ටුවත් තියෙනවා කියලා.... එසේනම් අපි වත්තෙන් එළියට යන්න මුලින්ම කරන්න ඕනේ ‍ගේට්ටුව හොයාගෙන ඒක ගාවට යන්න ඕනෙ. හැබැයි ගේට්ටුව වහලා තිබුනොත් ඒත් අනාථයි. network වලත් ඔන්න ඕකමයි වෙන්නේ internet කියන පවුරෙන් එහා ලෝකයට පිය නගන්න තමන්ගේ network interface එකට ගේට්ටුව මොකක්ද කියලා සදහන් කළ යුතුයි. ඒ නිසා තමයි default gateway කියන තැන‍ට router එකෙහි ip address ලබාදෙන්නේ.... මෙසේ නොදුන්නොත් වත්ත වටේ ඕන තැනක යන්න පුළුවන් හැබැයි වත්තතෙන් එළියට යන්න වෙන්නේ නෑ. මේදෙය router එක නිවැරදිව configure නොකල අවස්ථාවකද සිදුවිය හැකිය. ඒක හරියට වහපු ගේට්ටුවත් ගාවට ගියා වගේ තමයි. 

යම් ආයතනයක සමහරක් computers වලට internet සම්බන්ධතාවය නොදෙන අවස්ථා ඕන තරම් දැක ගන්න පුළුවනි. නමුත් network එකට සම්බන්ධයි. මේකට කරන්න තියෙන්නේ පොඩි දෙයක්. ගේට්ටුව මොකක්ද කියලා සදහන් නොකරනවා එච්චරයි. හැබැයි යම් කෙනෙක් gateway එක දැනගෙන ඒක දාගත්තොත් අවුලක් වෙනවා. ඒවගේ වෙලාවට  users ලාට limited account දෙන්න අවශ්‍යයයි.

සංස්කරණය: ධනුෂ්ක කෞෂල්‍ය 

Wednesday, September 21, 2011

නෙට්වර්ක් පන්තිය නමවෙනි දවස (IP address ස්වයංක්‍රීයකරණය)

ස්වයංක්‍රීයකරණය තේරෙන භාෂාවෙන් කිව්වොත් Automation. නූතන ලෝකයේ ඉතාම ජනප්‍රියම වචනයක්නේ automation කියන්නේ, අද කතාකරන්නේ අපේ තියෙන නෙට්වර්ක් එකක ip address automate කරගන්නා හැටි පිළිබදවයි. මේ සියඵ දේවල් සිදුකරගනු ලබන්නේ DHCP server එකක් ආධාරයෙනුයි.

DHCP  (Dynamic host configuration protocol) මේ වචනයනම් ගොඩක් දුරට අහලා වගේම දැකලත් ඇති මේක ADSL router configure කරන වේලාවක හොදින්ම දක්නට හැකියි. කවුරුහරි කෙනෙක් ADSL router එකක් අරගෙන කාටහරි කියලා හරි manual එක බලලා configure කරගත්තට පස්සේ ip address , Gateway, DNS address දාන්න ඒ මනුස්සයාට වෙනමම network course එකක් කරන්න වෙනවා. ඒ නිසා සෑම ADSL router එකකම DHCP  server එකක් වැඩකරනවා. නමුත් අපිට අවශ්‍ය නම් මේක off කරන්නත් පුළුවන්. හරිම සරලයි.

Dhcp server කියලා එකක් කෙළින්ම PC  එකක් මත install කරන්න විදිහක් නෑ. මාරවැඩේ එතකොට කොහොමද මේක කරන්නේ??????? මුළින්ම windows 2000,2003 හෝ 2008 server ඔපරේටින් සිස්ටම් එකක් install කරලන්න ඕනේ. එය මත දුවන application එකක් තමයි DHCP කියන්නේ. linux මත දුවන්නෙත් ඒ විදිහටමයි. මේ servers ඉනස්ටෝල් කරලා configure කරන ආකාරය සියළුම දත්ත සහිතව පසුව ඉදිරිපත් කරන්නම් දැනට මෙය වැඩකරන ආකාරය පමණක් පවසන්නම්. මේ පාඩම් මාලාව ටිකෙන් ටික යන ගමණක්. එක පාරටම server install එකක් දැමීමොත් මට රට පටලවා ගන්නයි වෙන්නේ... 

සාමාන්‍යයෙන් කෙනෙක් DHCP install කළාට පස්සේ මේ service එක තියෙන්නේ disable වෙලා මීට හේතුව වන්නේ කෙනෙක් නොදැන install කරලා එය නිවැරදි ලෙස සකස්වී නැත්නම් මුඵ සිස්ටම් එකම පිස්සු නටන්න ගන්නවා... මේක enable කළයුත්තේ හොදටම දැනගෙනයි. දැන් බලමු අපේ computer වල මේ service එක ලබාගන්නා ආකාරය
























නෙට්වරක් configuration window එකේ (local area connection properties window) ඉහත රූපයේ ආකාරයට obtain ip address automatically හා obtain dns server address automatically ලෙස සකසා තිබුනහොත් අපේ computer එකට ip address සපයනු ලබන්නේ dhcp  server එක හරහායි. එනිසා එම server මත ලබාදිය යුතු හා නොදියයුතු address වගේම gateway , dns address යනාදිය නිසිලෙස configure කර තිබිය යුතුය. මෙසේ ip address එකක් කම්පියුටර් එකක් විසින් ලබාගන්නේ යම් ක්‍රියාවලියකට පසුවයි. ඒ ගැන පහත රූපයෙන් දැකගත හැකියි. 

අපේ computer එක on කරපු ගමන්ම අපේ machine එකෙන් dhcp echo request නමින් හදුන්වන message එකක් මුළු නෙට්වර්ක් එක පුරාවටම යවනවා. broadcast කියලා පේන්න තියෙන්නේ ඒකයි. ඊට පස්සේ අපේ නෙට්වර්ක් එකේ dhcp server කට්ටක් තියේනම් offer message ලබාගන්න හැකියි. ආයෙත් නැවතවරක් requset කළහම ip address එකක් ලබාගැනීමට හැකියාව ඇත. බැරි වෙලාවත් dhcp server එකක් නොතිබුනොත් ඔයාලා දැකලා ඇති windows xp වලදී නෙට්වර්ක් අයිකොන් එක මත කහපාට ත්‍රිකෝණයක් වැටිලා තියෙනවා ඒ වෙලාවට අපේ computer එක විසින්ම APIPA (automatic private ip address) 169.254.x.x රේන්ජ් එකට අයත් addreess එකක් දාගන්නවා

ඔන්න ඔහොමයි කතන්දරේ. ආයෙත් දවසක හමුවෙමු.

සංස්කරණය:- ධනුෂ්ක කෞෂල්‍ය

Sunday, September 18, 2011

නෙට්වර්ක් පන්තියේ අටවෙනි දවස (E- mail වැඩකරන හැටි බලමු 2 කොටස)

වැඩි කතා නැතිව අද කෙළින්ම වැඩේට බහිමු. නූතන ලෝකයේ E-mail ක්‍රියාකරන්නේ ඉන්ටර්නෙට් හරහායි. සමහර පැරණි E-mail system වල ඊමේල් යවන්නා සහ ලබාගන්නා (mail recipient)  යන දෙදෙනාම එකම වෙලාවේ අන්තර්ජාලයට සම්බන්ධවෙලා සිටිය යුතුයි. instant messaging සර්විස් එකක වගේ රවුමෙන් නැතිව කෙළින්ම කියනවනම් chat කරනවා වගේ. වර්තමාන e-mail system පාදක වෙලා තියෙන්නේ store and forward ආකෘතියකට අනුවයි. එසේනම් මේ වැඩ ටික කරලා දෙන්න යම් සේවකයෙක් අවශ්‍යයයි. e-mail forward කරන්නෙත් බෙදාහරින්නෙත් (deliver) ගබඩා (store) කරගන්නෙත් මෙන්න මේ සේවකයා විසිනුයි. මෙයාට කියන විශේෂ නමක් තියෙනවා ඒ තමයි "E-mail server" අමුතුවෙන් සිතියයුතු නැහැ යම් සේවාවක් සපයන යමක් තිබේද එයට server එකක්  කියලයි හදුවන්නේ. 

දැන් බලමු E-mail ලිපින ගැන, හැම E-mail address එකකම (@) ඉන්නවා. මෙයාට එක එක නම් කියනවා apetail, monkey tail, atmark, at symbol කෝක වෙතත් මේකෙන් ලොකු වැඩක් කෙරෙනවා. mail recipientගේ username එකයි  domain name එකයි වෙන් කරන්නේ මේ @ sign එක පාවිච්චි කරලයි. උදා:- dhanushka@example.com මෙහි username එක Dhanushka ඩොමේන් නේම් එක example.com මේ විදිහට වෙන් කරන්න හේතු තියෙනවා ඒ ගැන පහළටික කියවනකොට තේරුම්ගන්න හැකිවෙයි. 

MTA (Mail transfer agent) 
ඊමේල් ඉන්ටර්නෙට් හරහා පුවාහනය කරන්නේ SMTP වලින්නේ ඊමේල් server එකට SMTP server කියලත් කීමට හැකියි. අපි හිතමු මේක සාමාන්‍ය තැපැල් සේවයේ තියෙන post office එකක් කියලා. මේ post office එකේ වෙනත් post office වල නම් බලලා ලියුම් ටික forward කරන්න වගේම ලැබෙන මේල් ටික අදාල usersලාට බෙදාහරින්න වගකිවයු කෙනාට විශේෂ නමක් තියෙනවා. එයා තමයි MTA (Mail transfer agent) කියලා කියන්නේ. එයා මෙයා කියල කිව්වට මනුස්සයෙක් නෙමෙයි computer application එකක්. උදා- 
postfix
send mail
Qmail
MS Exchange

E-mail වලදී @ sing එකට දකුණුපසින් ඇති නම බලලා (උදා:- gmail.com , yahoo.com, hotmail.com, example.com , teksimplex.com) mail එක අදාල server එකට forward කරන්නේ MTA වලිනි. මේ වැඩේ කියන තරම් සරල නෑ යවන්න අවශ්‍ය තැනේ Ip address එක හොයාගන්නේ DNS වල තියෙන mail exchanger records (MX records) වල ආධාරයෙනුයි. එක එක MTA වලට අදාල IP මේ records වල සදහන් වෙලා තියෙනවා. DNS ගැන වැඩිදුර කතාබහක් ඉදිරියේදී කරමු.

MDA (Mail Deliver Agent) or LDA (local Deliver Agent)
ඉහත සදහන් කරපු post office එකේ MTA වලට ආපු මේල් ටික අදාල කස්ටියගේ mailbox එකට ගිහිල්ලා දෙන්නේ මෙයා විසිනුයි. තේරෙන භාෂාවෙන් කියනවනම් postman ගේ වැඩේ කරන්නේ මෙයා විසිනුයි. උදාහරණයක් විදිහට admin@teksimplex.com ට someone@gmail.com වලින් mail එකක් ආවා කියලා හිතමු. මෙහිදී teksimplex.com නමැති MTA විසින් pop, i map, dovecot නමැති postman ලාගෙන් එක්කෙනෙක්ව පාවිච්චිකරලා admin නමැති පුද්ගලයාගේ mailbox එකට mail එක යවනවා. ඔන්න ඔහොමයි වැඩේ සිද්දවෙන්නේ.........
MDA examples
POP -post office protocol
IMAP- Internet Message Access protocol
Devocot 

MUA (Mail USer Agent) 
මෙයා ගැන ලොකු දේවල් කියන්න ඕන නැහැ E-mail client software එක කියන්නේ මෙයාටයි. ප්‍රධාන කාර්යය mail යවන එකයි එන mail රැස්කර ගැනීමයි. උද-
Outlook express
Mozilla Thunderbird
MS Outlook

තව පොඩි පොඩි කිවයුතුම දේවල් ටිකක් තියෙනවා. මෙවායේ යෙදෙන ports වර්ග මින් ප්‍රධානයි. ඒත් මේ post එක ඊට සුදුසු මදි. ඒ ගැන ඉදිරියේදී පළකරන post වලින් නිවැරදිව දක්වන්නම්.
සංස්කරණය :- ධනුෂ්ක කෞෂල්‍ය

Wednesday, September 14, 2011

නෙට්වර්ක් පන්තියේ හත්වෙනි දවස (E- mail වැඩකරන හැටි බලමු 1 කොටස)

වර්තමාන සමාජයේ වැඩිපුරම කතාකරන දෙයක්නේ e-mail අද කතාකරන්නේ අපි e-mail එකක් යවනකොට අපට හොරෙන් සිදුවන ක්‍රියාවලිය පිළිබදවයි. අපි සමහර වේලාවට කිව්වොත් කෙනෙකුට මේල් එකක් දාන්නම් කියලා අනිවාර්යයෙන්ම ඒ කෙනා හිතන්නේ E-mail ගැන. සාමාන්‍ය තැපැල් සේවය ගැන හිතෙන්නේම නෑ. විද්‍යුත් තැපැල් සේවය ඒ තරමටම ජනප්‍රියයි. 

වහෙන් ඔරෝ නැතිව කෙළින්ම කිව්වොත් ඊමේල් වැඩකරන්නේ තනිකරම text වලින්, SMTP (simple mail transfer protocol) මේක තමයි ප්‍රොටෝකෝලය. HTTP වගේම SMTP සහයදෙන්නේ 7Bit ASCII වලට විතරමයි. අපි photo එකක් හෝ sound හෝ video එකක් attach කලොත් මේ සියළුම ෆයිල්ස් text වලට convert වෙනවා. ඒ සදහා පොඩි ගැජටි වගයක් තියෙනවා.. 
MIME (Multipurpose Internet Mail Extensions) 
UUencode
Binhex

මම හිතන්නේ ගොඩක් අය මේ ගැන අහලාවත් නැතිව ඇති. මේ ගැජටි mail servers වලත් mail client application වලත් automatically වැඩකරනවා. ඔන්න ඔහොමයි කතන්දරේ. සමහර වේලාවට දැකලා ඇති ටිකක් ලොකු ෆයිල් එකක් attach කරනකොට ගොඩාක් වෙලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට attach fail වෙනවා. ආයෙත් try කරනවා ඔන්න ඔහොම පස්පාරක් විතර කරලා කැෆේ එකකනම් ඉන්නේ අයිතිකාරයගේ අම්මා තාත්තවත් මතක් කරලා එහෙම නැත්නම් service providerටත් හොදටම බැනලා ගෙදර එනවා. ඕකනේ අපේ අයගේ සාමාන්‍ය සිරිත මෙහෙම වෙන්නේ ෆයිල් කන්වර්ට් කිරීමට නොහැකි වීමයි. තවත් සමහර වේලාවට ෆයිල්ස් attach වෙනවා. බාගත කළාට පස්සේ වැඩකරන්නේ නෑ. corrupt වෙලා. මේක නිසා තමයි 25MB වලට ලිමිට් කරලා තියෙන්නේ. ඒකනිසා මේක කියවන කස්ටිය හොදට මතක තියාගන්න ලොකු ෆයිල් යවන එක මාරම risky කියලා.

e-mail එකක් යවනකොට සිදුවන සියල්ලම මෙහි දෙවන කොටසින් තවදුරටත් කතාකරමු.  

සංස්කරණය:- ධනුෂ්ක කෞෂල්‍ය

Tuesday, September 6, 2011

නෙට්වර්ක් පන්තියේ හයවෙනි දවස (IP address 3)

ගියවර පන්තිය අවසන් කළේ No of Host ගණනය කිරීමකින් ඒ ගැන තව ටිකක් බලමු.
n=16 විට 216-2  =65536 -2

උත්තරය 65534 යි. සම්පූර්ණ host ගණනින් දෙකක් අඩුකරන්නේ මුල් හා අවසාන ip දෙක භාවිතයට නොගන්නා නිසයි. මුල් IP එකට කියන්නේ start address කියායි. අවසාන එකට කියන්නේ broadcast address කියායි.
උදා:- 192.168.1.0/24
start address 192.168.1.0
Broadcast address 192.168.1.255 ලිනක්ස් භාවිතයේදී යම් නෙට්වර්ක් එකක ip එකක් දානකොට මේ සියල්ලම භාවිතාකරන්න ඕනේ නැත්නම් වැඩකරන්නේ නෑ. ටිකක් කරදරයි ඒත් කරන්න දෙයක් නෑ හේතුව windows වලට වගේ linux  වලට බොරු කරන්න බැරි නිසයි.

public ip address
මේවාට static ip address කියලත් කියනවා. ලෝකයේ ඉන්න සැමොටම පොදුවේ භාවිතාකළ හැකි ip address එකක් වේනම් ඒක public ip එකක්. හොද උදාහරණයක් දෙන්නම්කෝ web server එකක පාවිච්චි කරන්නේ public ip එකක්. ලෝකේ කොතැනක සිටියත් google.com යන්න පුළුවන්. අපිත් public ip එකක් අරගෙන කම්පීටරේට එකට දැම්මොත් ලෝකේ කොහේ හිටියත් access කරන්න පුළුවන්.

private IP address 
ලෝකයේ ඉන්න ඕනෑම කෙනෙකුට පුද්ගලිකව භාවිතාකළ හැකි ip address වේනම් ඒවාට කියන්නේ private ip කියලයි. මේවා තමන්ගේම LAN (local Area Network) වලට පාවිච්චි කරන්න පුළුවන්. private ip ranges තුනක් වෙන් කරලා තියෙනවා අවශ්‍යතාවය අනුව පාවිච්චි කිරීමටයි. මෙහෙම කියන්නේ එක එක class එකේ default subnet mask එක අනුව භාවිතා කළ හැකි Host ගණන වෙනස්වන නිසායි.











බහුතරයක් අය පාවිච්චි කරන්නේ 192.168.0.0 රේනජ් එකයි. කලාතුරකිනුයි 10.0.0.0 range එක දකින්න තියෙන්නේ,

ගියවර පන්තියේ පස්සේ කියන්නම් කියපු 127.0.0.0 range එක පාවිච්චි කරන්නේ නෙට්වර්ක් card වල internal communication වලටයි. මේකට loopback address කියලත් කියනවා... 127.0.0.1 වලට ping කරලා reply නැත්නම් Network card එකේ අවුලක් කියලා මතක තියාගන්න. 











දැකලා තියෙනවද? windows xp වලදී network interface icon එක උඩ කහපාට ත්‍රිකෝණයක් වැටිලා තියෙනවා ඒ වෙලාවට machine එකේ ip එක 169.254.x.x රේන්ජ් එකට වැටෙනවා.. මෙකට APIPA (Automatic Private IP Addressing) කියලයි කියන්නේ. මෙහෙම වෙන්නේ Network එක තුළ DHCP server (ip address automate system) එකක් නොමැතිවිටයි. 
මේ සියල්ලම හැරුණුකොට 0.0.0.0 සිට 0.255.255.255 දක්වා range එකද භාවිතයට නොගනී.

සංස්කරණය:- ධනුෂ්ක කෞෂල්‍ය
 

Monday, September 5, 2011

නෙට්වර්ක් පන්තියේ පස්වෙනි දවස (IP address 2)

කළින් දවසේ නෙට්වර්ක් පන්තිය ඉවර කළේ IP address classes හදුනා ගන්නේ කොහොමද කියලයි. උදාහරණයක් විදිහට  192.168.1.1 ip එක ගනිමු. මෙහි සදහන් මුල් අංකය දෙස බැලීමෙන් මේ IP එක අයිතිවන්නේ class C වලටයි. දැන් බලමු මේක කොහොමද හොයා ගත්තේ කියලා. IP address එකක පළවෙනි byte එක දිහා බලලයි ක්ලාස් එක කිව්වේ. මෙහි බිට් 8ක් තියෙන නිසා ඩෙසිමල් අංකය 0 සිට 255 දක්වා වෙනස් විය හැකියි. මේ වෙනස්වීම අනුවයි ක්ලාස් එක තීරණය කරන්නේ වැඩි විස්තර පහළ රූපයෙන් බලාගන්න.

රූපය 1



















මේක දිහා හොදට බැලුවොත් පෙනෙයි 127 රේන්ජ් එක මෙහි සදහන් වෙලා නෑ කියලා. ඒ range එක ගන්නේ වෙන වැඩකට ඒ ගැන පසුව කියන්නම්. තවද Ip address format එක දිහා බැලුවොත් පෙනෙයි පළමු බිට් එක 0 උනොත් class A ද, පළමු බිට් දෙක 10 උනොත්  class B ද, පළමු බිට් තුන 110 උනොත් class C ද, අනෙක්වාද රූපයේ පරිදි හදුනාගත හැකියි. ඒ වගේම තව දකින්නට ලැබෙයි NET ID සහ HOST ID කියලා දෙකක් ඕක ගැන කියන්ඩනම් subnet  ගාවගන්න සිදුවෙනවා...

subnet
ඔක්කෝමට කළින් මේ රූපය බලන්න.
රූපය 2
























subnet කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම එක කාර්ය මණ්ඩලයක් එහෙම නැත්නම් එක සංවිධානයක් (organization) උප කොටස් දෙකක් හෝ කිහිපයකට බෙදා වෙන්කරීමකටයි. මෙහි පවතින සියළුම computers පවතින්නේ එකම භූගෝලීය පිහිටුමකයි නමුත් Logically බෙදා වෙන් කරනවා. රූපයේ හැටියට ගත්තොත් මෙහි subnet හතරක් තියෙනවා නමුත් internet පාවිච්චි කරන්නේ එක router එකක් හරහායි. මේ විදිහට කරන්න හේතු ගණනක් තියෙනවා.
  1. මෙලෙස සංවිධානය ඛන්ඩනය කිරීමෙන් එක එක section උදා:- finance, Marketing, Administration, Engineering වෙන වෙනම manage කිරීමට හැකියාව තියෙනවා. 
  2. මේ එක එක කොටස් physically කොටස්වලට කැඩුවොත් එක එක section වලට internet පාවිච්චි කරන්න වෙන වෙනම Internet connection ඕන වෙනවා.
මෙහි අවාසිත් තිබිය හැකිය උදා:- රූපයේ හැටියට ගත්තොත් routers ගණන වැඩිවෙනවා.
දැන් තමා විස්තර කරන්න අමාරුම ටික බලමු try කරලා..
32bit address එකෙහි සැමවිටම නොවෙනස්වන කොටසට කියන්නේ network ID කියලයි. එතකොට මෙහි වෙනස්වන කොටසට තමයි Host ID කියන්නේ. 1 රූපය බැලුවොත් class A වල network ID එකේ Bit 8ක් තියෙනවා. class B වල bit 16 කුත් C වල 24 කුත් තියෙනවා. ඔන්න ඔහොමයි කතාන්දරේ... උදා- 192.168.1.1/24  මෙහි 24 න් පෙන්නන්නේ network ID එකේ Bit .ගණනයි.

තව දුරටත් පහදා දෙමු අපි හිතමු 38.9.211.0 මේ වගේ number එකක් ගැන








mask කියලා කියන්නේ මුහුණු ආවරණයකටනේ (වෙස්මුහුණ) මේකත් ඒ වගේ තමයි netmask තමයි හොදම නම ජාලය අවරණය කරනවා. binary වලින් 1 තිබ්බොත් නොවෙනස්වන බවත් (fixed) 0 තිබ්බොත් වෙනස්වන (variable)  බවත් කියවේ. decimal වලින් ලියනකොට mask එක 255.255.255.0  වෙනවා. දැන්  No of host ගණන් බලමු.
 හරිම සරලයි
2n -මෙහි n යනු No of  host bit ගණනයි. උදා n=8 වුනොත් උත්තරය 256-2=254 යි. මෙහි 2 ක් අඩුකරන්නේ ඇයි? සහ තවත් කරුණු කාරණා ඉදිරි පන්තියකදී සලකා බලමු.....

Wednesday, August 31, 2011

Digital cameraවක් මිලදී ගමු.



අද කියන්න හදන්නේ කැමරාවක් මිලදී ගනිද්දී විශේෂයෙන් සැලකිය යුතු කරුණු කිහිපයක් පිළීබදවයි. මේ ගැන ඉදිරිපත් කරනවායැයි මම  කළින් පළකරපු Post එකකදී කියා සිටියා. විශේෂයෙන්ම මතක් කළයුතුයි  වඩාත්ම හොද මොන digital camera model එකද කියලා කියන්ඩනම් නෙමෙයි අදහස් ක‍‍ළේ

ඔබ කැමරාවක් මිලට ගැනීමට සෙවීමේදී මතකයේ තබාගත යුතු කරුණු රාශියක් තිබෙනවා. ඒවා ටික පහළින් දක්වන්නම්, මෙහි දැක්වෙන දේවල් තමන් විසින් තමන්ටම ප්‍රෂ්ණ කරගත යුතුයි. 
  1. මොකක්ද අවශ්‍යතාවය කැමරාවක් මිලට ගැනීමට?
  2. කුමන වර්ගයකට අයත් ජායාරූපද ඔබ ගන්නේ 
    1. portraits -දේහ ලක්ෂණ, පිළිරූ යනාදිය
    2. landscape- භූමි දර්ශන 
    3. macro - විශාල ඡායරූප
    4. sports - ක්‍රිඩා දර්ශන ( මේ වගේ අවස්තාවල response time ගොඩක් අඩුවෙන්න ඕනේ)
  3. මොනවගේ තත්ත්වයන් යටතේ ඔබ ඡායාරූප ගන්නවාද? (ගෙවල් තුළ, ගෙයින් පිටත, අදුරේදී, දීප්තිමත් ආලෝකය ඇති අවස්තාවල)
  4. මොනවගේ features බලාපොරොත්තු වෙනවාද? (long zoom , image stabilization, large LCD display ,etc....) image stabilization මෙය බලපාන්නේ සෙලවෙන අවස්ථාවල ගන්නා ඡායාරූප වලටයි.උදා:- වාහනයක ගමන්කරන විට
  5. ඔබේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය ( budget) 
මේ ආදී කරු‍ණු රා‍ශියක් සලකා බලලා තමයි කැමරාවක් මිලදී ගැනීමට තීරණයකට එළබිය යුත්තේ දැන් බලමු අවශ්‍යතාවයට අනුව කොහොමද cam එකක් select කරගන්නේ කොහොමද කියලා.

Megapixels are not everything

මම කළින් දවසකත් පැවසුවා megapixel 1 ක් කියන්නේ වර්ග අගලක් තුළ පැතිරුණු පුංචි ඩොට්  (pixel) දසලක්ෂයක් බව, බොහෝ දෙනෙක් කැමරාවක් ගද්දී අහන්නේ megapixel ප්‍රමා‍ණය ගැන විතරමයි.  විකු‍ණන අයත් පවසන්නේ ඒක ගැන විතරමයි හේතුව නොදැනුවත්කමයි. මීට වසර කීපයකට ඉහතදී කැමරාවක megapixel rating එක ඇත්තටම බොහෝසෙයින් වැදගත් සාධකයක් තිබු‍ණි. බහුතරයක් කැමරාවල මෙම අගය බොහොම අඩුයි. එක megapixel එකක වැඩිවීමද ඉතා සැලකිය යුතු කාරණයක්ව තිබුණි. නමුදු වර්තමානයේ බොහෝ කැමරාවල අඩුම තරමින් 5 megapixel වත් තියෙනවා. ඒක නිසා මෙගාපික්සල් රේටින් එක 5 ට වඩා ගොඩක් වැඩිවීම වැදගත් නිර්ණායකයක් නෙමෙයි. සාමාන්‍ය භාවිතයේදී නම් මෙය අවාසියක් කම්පියුටර්ස්වල වගේම memory card වල ඉඩ අපතේ යනවා... ඔබට අවශ්‍ය කරන්නේ normal size ෆොටෝ නම් 4 හෝ 5 මෙගාපික්සල් ප්‍රමාණයක් හොදටම ඇති
අති විශාල ප්‍රමාණයේ 16x20'' ඡායාරූපයක් 3264x2468 resolution එකකින් ගැනීමට අවශ්‍යනම් පම‍ණක් 8 මෙගාපික්සල් සහිත කැමරාවක් භාවිතය සුදුසුය. තමන්ට අවශ්‍ය කාරණයට අනුව කැමරාවක් මිලදී නොගැනීම මුදල් සුලගේ පාකර හැරියා විය හැකිය.

තෝරාගන්න point and shoot හෝ Digital SLR කැමරාවක් අවශ්‍යතාවයට අනුව
මුලින්ම සලකා බැලිය යුතුයි මොකක්ද මේ point and shoot සහDSLR කියන්නේ කියලා. compact camera හෝ SLR(single lens reflex) කැමරා කියලා කියන්නෙත් point and shoot වලටමයි.  මේවායේ තියෙන්නේ ඉතාම සරල කියාවලියක් ගොඩක් ඒවල   auto focus තියෙනවා. ඒ වගේම flash unit එකකුත් තියෙනවා. හොදම උදාහරණය camera phone බොහොම ජනප්‍රියයි. ඉහත රූපවල වම්පසින් දක්වා ඇත්තේ point and shoot කැමාරාවකි. මෙහි තිබෙන්නේ එක lens එකක් , mirror එකකින් තමයි viewfinder එකට Image එකක් divert කරන්නේ තවද වැඩිපුර lens හෝ filters එක්කල නොහැක. එනිසා Picture quality එක digital DSLR සාපේක්ෂව ගොඩක් අඩුයි. මෙම වර්ගයේ කැමරා ආධුනිකයන්ට ඉතාම සුදුසුයි. 

DSLR (digital single lens reflex) ඉහත රූපවල දකුණු පසින් දක්වා ඇත්තේ මෙම වර්ගයට අයත් කැමරාවකි. මෙම කැමරාවල mechanical mirror system and pentaprism එකක් තියෙනවා. මම මෙහි රූපයක් පහළින් දාන්නම්. මේකේ සිංහල අදහස මම දන්නේ නෑ. මෙන්න මේ ජාතිය පාවිච්චි කරලයි lens එකේ ඉදලා optical viewfinder  එකට ආලෝකය  ගෙනියන්නේ. ගොඩක් විස්තර දීමට අපහසුයි.  මෙම වර්ගය වෘත්තීමය ඡායාරූප ශිල්පීන්ට ඉතාමත්ම සුදුසුයි. මේ වර්ගයේ picture depth (ගැඹුර) හොදින්ම තිබෙනවා.   


 optical zoom is very important 
අවාසනාවක තරම වර්තමාන Cam වල megapixel ඕනවටත් වැඩිය තියෙනවා එනමුත් බහුතරයක zoom උපරිමය 3x. higher optical zoom තියෙන කැමරාවක් තෝරාගැනීම සුදුසුයි. අද මාරකැට්ටුවේ 12x තියෙන camera මිලට ගන්න තියෙනවා.  වරද්ද ගන්න එපා digital zoom කියලත් තියෙනවා ඒ කියන්නේ වෙන කතන්දරයක්. ඒකෙන් සිද්ධවෙන්නේ pixel විශාලවීමක් විතරයි. ගොඩක් විශාල කරපුවහම වෙන්නේ picture  noisier වීමකි.


  
select lithium-ion or AA batteries
අපි කැමරාවක් පාවිච්චි කරන්නේ ගෙදර විතරක් තියාගන්න නෙමෙයිනේ මේක අරගෙන යනකොට බැටරිය බැස්සොත් ඔක්කොම ඉවරයි. බැටරි චාජරේ තිබ්බත් වැඩක් නෑ power නැත්නම් එහෙමනේ ඒක නිසා මම නම් තීර‍ණය කරන්නේ rechargeable AA batteries පාවිච්චි කරන එක සුදුසුයි කියායි හදිසියේ බැටරි බැස්සොත් කඩෙන් හරි අරගෙන දාන්න පුළුවන්.

ඔන්න ඔහොමයි කැමරාවල වගතුග විශේෂයෙන්ම සැලකිය යුත්තේ ඔයවගේ දේවල් තමයි. SLR and D SLR අතර ගොඩාක් වෙනස්කම් පවතිනවා මේවා ඔක්කොම කියන්න ගියොත් මට වෙනමම පොතක් ලියන්න සිදුවෙනවා. අදින් පසුවදී කැමරාවක් මිලට ගන්නකොට ටිකක් සැළකිලිමත් වෙන්න. රැවටිලි කාරයන්ට නොරැවටෙන්න..........

සංස්කරණය :- ධනුෂ්ක කෞෂල්‍ය
 

Monday, August 29, 2011

නෙට්වර්ක් පන්තියේ හතරවන දවස IP address 1


අද කතාකරන්නේ IP Address ( Internet Protocol address) ගැනයි. සාමාන්‍යයෙන් මිනිසුන් ලිපිනයක් පාවිච්චි කරන්නේ ලියුම් ගනුදෙනු කරගන්නටනේ, වර්තමානයේ වැඩි පිරිසක්ම භාවිතා කරන්නේ විද්‍යුත් තැපැල් (E-mail) හෝ කෙටි පණිවිඩ (SMS-short message service) සේවාවනුයි. ඊ මේල් භාවිතයේදී එකිනෙකට වෙනස් වූ ලිපින (E-mail address) භාවිතා කරන අතර කෙට් පණිවිඩ සේවා භාවිතයේදී MSISDN එක තේරෙන භාෂාවෙන් කියනවානම් phone number එක ලිපිනය ලෙස භාවිතා වේ. දැන් අපි IP address ගැන සලකා බලමු.


Ip address එකක් කියන්නේ32 bit address එකක්. bit ගැන කතා කරලා තියෙන නිසා මේවා තේරෙනවා ඇති කියලයි මම හිතන්නේ අවුලක් තිබුනොත් කොමෙන්ටුවක් දාන්න සියළු පැටළිලි දිගහැරලා දෙන්නමි. ඉහත සදහන් කරපු Bit 32 පහසුවෙන් හදුනා ගැනීම සදහා 8bit කොටස් හතරකට වෙන්කරනවා.... ඒ කියන්නේ Byte හතරකට (4byte) මේකට තවත් four octet (අෂ්ඨකය) කියලත් කියනවා. මේ මම කතා කරන්නේ ip version 4 ගැනයි. ipv6 මීට වඩා වෙනස් ඒකේ Bit128 ක් use කරනවා. ඒ ගැන වෙනමම පසුව කියන්නම්.මේ විදිහට කොටස් හතරකට බෙදලා භාවිතයට පහසුවෙන ආකාරයට decimal වලට පරිවර්තනය කරගනු ලබනවා..... උදාහරණයක් පහළ රූපයෙන් බලාගන්න.
 












මෙලෙස decimal විදිහට පරිවර්තනය කරගැනීමට නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කරගත යුතුයි. පහතින් දැක්වෙනනේ එහි නිවැරදි ක්‍රමයයි.




















මෙහිදී ඔබට දැකිය හැකියි 8Bit ගනිනු ලබන්නේ දකුණුපස සිට වම්පසටයි. Ip address එකක් දශමය සංඛ්‍යාවලට පරිවර්තනයෙන් පසුවද අංක අතර ඩොට් එකක් තබමින් Byte සතර වෙන්කරගත යුතුයි.
උදා:- 
10.0.0.1
127.0.0.0
169.254.0.1
192.168.1.1

මෙහි මුලට යෙදෙන decimal අංකය හෝ binary අගයන් මත Ip address පන්ති (class) කිහිපයකට වෙන්කර ගනු ලබයි. ඒවානම් class A,B,C,D, etc..... යනාදියයි. IP address එක දුටු විගසම ඒ address එක අයිති පන්තිය කීමට හැකියාව ඇත. මේ පිළිබදව තව දුරටත් තවත් නෙට්වරක් පන්තියකදී උගෙනගමු.



Saturday, August 27, 2011

නෙට්වර්ක් පන්තිය තෙවන දවස (බිට් සහ බයිට් 2)

බිට් සහ බයිට් ගැන එහෙම ලේසියෙන් කතා කරලා ඉවර කරන්න බෑ. අනාගතයේ අපේ පන්තියේ කතා කරන ගොඩක් දේවල් වලට මේවා ගොඩක්  ප්‍රයෝජන වෙන්න පුළුවන්.  protocol, bandwidth ගැන කළින් කතා කළේ ඒක නිසයි. ටිකක් boring නම් තමයි ඒත් ඉවසමු.

pixel
ග්‍රැෆික්ස් ගැන සැලකීමේදී Pixel එකක් කියන්නේ ඉමේජ් එකක තියෙන පුංචි ඩොට්  එකකට ඉතින් මේ පුංචි ඩොට් එක ඉදිරිපත් (represent) කරන්න පාවිච්චි වෙන්නේ යම්කිසි bit ප්‍රමාණයක්,
8bit වලින් පුළුවන් වර්ණ 256 ක් පෙන්නුම් කරන්න. ඒ කියන්නේ අවසානයේ මැවෙන්නේ කළුසුදු සේයාරුවක් (monochrome). සැබෑම වූ වර්ණයක් ඉදිරිපත් කිරීමට bit 24 හෝ 32 ක් අවශ්‍ය වෙනවා.... 24 bit pixel එකකට හැකියි වර්ණ මිලියන 16 ක් මැවීමට, 32 bit  වලට ඊටත් වඩා වැඩියි. 

bit rate 
bit rate කියන්නේ තත්පරයක් තුළ උපකරණ (devices) දෙකක් අතර හුවමාරුවන bit සංඛ්‍යාවට මේකේ unit එක වන්නේ bps (bit per second) සාමාන්‍ය භාවිතයේදී දකින්න ලැබෙන්නේ මෙහි ගුණිතයක් ලෙසිනුයි (kbps or Mbps) මේ unit දෙකනම් හොදින්ම අහලා ඇතිනේ internet speed එක මනින්නේ මේවලින්නේ. මේක ගැන තවත් කතා කරන්න ගියෙත් ලේ කෝප වෙනවා. කියන තරමි speed කවදාවත්ම නොලැබෙන නිසා....

BER
මේක shot form එකක්නේ Bit error rate කියන්නේ දිගනම මෙහි අදහස මෙන්න මෙහෙමයි. ඩිජිටල් ට්‍රාන්ස්මිෂන් වලදී වැරදුනු bit ප්‍රමාණය යම්කිසි කාල පරාසයකදී යවපු සම්පූර්ණ bit ප්‍රමාණයෙන් බෙදලා ලැබෙන අගය සියයට ගත්කළ ලැබෙන්නේ ber එකයි. සාමාන්‍යයෙන් මෙය ඉදිරිපත් කරන්නේ 10 යේ ඍණ බලයක් විදිහටයි. උදා:- 3x10-5 විදිහට තියෙනවනමි මෙයින් අදහස් කරන්නේ Bit 100,000 කට bit 3ක් error කියලයි. 4x10-6 කියන්නේ bit 1,000,000 කට error bit 4යි. දහයේ බලය ගොඩක් වැඩිවෙනකොට Transmission එක ගොඩක් හොදයි. 


pixel ගැන කතා කරපු නිසා megapixel ගැනත් ලියනඑක වැදගත් වෙයි කියලා හිතෙනවා. ඩිජිටල් කැමරා එකක් මිලදී ගන්නකොට ගොඩක් අය අහන දෙයක්නෙ megapixel කීයද කියන එක. 
megapixel එකක් pixel දස ලක්ෂයකට සමානයි. වර්ග අගලක් තුල picture element දස ලක්ෂයක් තියෙනවා.. සෙල්ලමි නෑ. ඩිජිටල් image එකක් pixel 1000 කින් පමණ Represent කරන්න පුළුවන් මේ අගය ගොඩාක් වැඩිවන තරමට Image resolution  එකත් වැඩිවෙනවා. 16"x20" ප්‍රමාණයේ පින්තූරයක් 3264x2468 resolution එකකින් ගන්ඩ 8megapixel හොදටෝම ඇති... කඩේකින් Camera එකක් ගන්න කොට megapixel ගාන විතරක් අහන එකතමා කරන ලොකුම ගොන්කම ඔයිටවඩා දේවල් හොයා බලන්න තියෙනවා ඒවා ටික මම වෙනමම post එකකින් දාන්නම්.



Thursday, August 25, 2011

නෙට්වර්ක් පන්තිය දෙවෙනි දවස (බිට්ස් සහ බයිට්)

මට මේ බ්ලොග් එක කරන්න හිතුනේ කරුණු දෙකක් මත එකක් තමයි මගේ ප්‍රයෝගික දැනුම වැඩි කරගැනීම සහ හුදෙක් ආත්ම තෘප්තිය තකා දෙවෙනි කාරණය තමයි සමහර මිනිසුන්ගේ තියෙන පටු අදහස් දුරු කරන්න පුංචි මග පෙන්වීමක් කරන්නයි. උදාහරණයක් විදිහට කියනවානම් සමහර අයට windows 7 අරහන්නේ. හේතුව ඉතින් ඒ මිනිස්සු update වෙන්නේත් නෑ වෙන කෙනෙකුට දෙන්නෙත් නෑ... පුළුවන් තරම් ඒකේ ඇද කියන එක තමයි කරන්නේ අරකේ තියෙන එක මේකේ නෑ ඔහොම තමයි කියන්නේ, හරියට ළිදේ ඉන්න ගෙම්බෝ වගේ...  තවත් උදාහරණයක් කිවයුතුමයි, ubuntu ගැන ඇහුවොත් කියන්නේ ඒකේ user friendly නෑනේ .... ඕකට හේතුව විදිහට මම දකින්නේ ඒ අය එක රාමුවකට කොටුවෙලා, windows වලට ඇබ්බැහිවෙලා ඉන්නේ. හැබැයි ටිකක් උත්සාහ කළොත් windows interface එක මේකට දාන්න පුළුවන් කිසි ගැටළුවක් නෑ..  නෙට්වර්ක් කියන්නේ කෝකටත් පොදු නිසා පසුකාලීනව linux ගැනත් මේ පාඩම් වලට රිංගවන්න සිද්ධවෙනවා... නොදන්නා දෙයක් රටටම කියලා දීලා system වල වැරදි කිය කියා ඉන්න අයට වැරැද්ද තමන්ගේම කියලා ඒත්තු ගැන්වීම හරිම අමාරුයි ඒත් try කරමු. එහෙනම් අද වැඩේට බහිමු
 
මුලින්ම කියන්නම්කෝ "බිට්"  ගැන, මේ කියන්න හදන්නේ බුරුම කටු "drill bit" ගැන නෙමයි. බිට් "bit" කියන්නේ short form එකක් binary digit තමා දිග නම, මේක තමයි යම් තොරතුරක "information" එකක තියෙන කුඩා...ම ඒකකය "smallest unit". එක තනි බිට් එකකට  අගයන් දෙකක් "two values" තබා ගැනීමට හැකියාව තියෙනවා... 0 හරි 1 කියලා කියන්නේ මේ දෙක තමයි. නිකම් හිතලා බලන්න මේ value දෙක පාවිච්චි කරලා කම්පියුටර්ස් කොච්චර දේවල් අපිට කරලා දෙනවද? සෑම උපදෙසක්ම "instruction" මෙහෙයවන්නේ මේ bit උපයෝගී කරගෙන. 

බයිට් byte කියන්නේ කන ඒවලටනම් නෙමෙයි, අනුපිළිවෙලට "sequence" සකසපු bit වල ගුණිතයකට, මේවා සාමාන්‍යෙයන් පාවිච්චි කරන්නේ data store කරන්න වගේම instruction provide කරන්න. Byte එකකට සාමාන්‍යයෙන් යොදාගන්නේ බිට් අටයි "eight bit". නමුත් 16Bit byte , 10bit byte පාවිච්චි කරන අවස්ථාත් නැතුවා නොවෙයි.

සමහර අවස්තාවල Computers වර්ග කරන්නේත් එක address එකක් represent කරන්න පාවිච්චි කරන bit ප්‍රමාණය අනුවයි. උදා:- 32bit computer එකක data register එක 32bit තරම් පැතිරිලා තියෙනවා හෝ එක address එකක් මතකයේ තබාගන්න 32bit පිවිච්චි කරනවා යන්නයි. ඉතින් කාටත් තේරෙනවා ඇතිනේ මේක 64bit වෙනකොට වැඩි මතකයක් යොදා ගන්න හැකියාව තියෙන නිසා speed එකත් වැඩිවෙන වග.....

32bit bus සහ 64bit bus වල අදහසත් මේ වගේමයි, සාමානයෙන් bus කියන්නේ මිනිස්සු ප්‍රවාහනයට ගන්න වාහනයක්නෙ 32bit bus කියන්නේ මිනිස්සු 32 ක් දාගෙන යන්න පුළුවන් බස් එකක් 64bit bus කියන්නේ මිනිස්සු 64 ක් දාගෙන යන්න පුළුවන් බස් එකකට එච්චරයි.

bit වල උදාහරණ තව ගොඩාක් තියෙනවා...... ip address, වර්ණ "coloures" ගැන වෙනමම නෙට්වර්ක් පන්තියකදී සලකා බලමු..

       

 

Sunday, August 21, 2011

නෙට්වර්ක් පන්තිය (පළමු දවස)

අදනේ නෙට්වර්ක් පන්තියේ මංගල දවස, protocol කියන්නේ මොකක්ද කියලයි කියන්න හදන්නේ....
මුලින්ම කියන්න ඕනේ සෑම දෙයක්ම සිංහලෙන් විතරක් නම් දාන්න විදිහක් නෑ. technology ගැන කතා කරනකොට සිංහලෙන් විතරක් ලියුවොත් මාත් අමාරුවේ වැටෙනවා. තේරෙනවා ඇතිනේ මම කියන දේ. protocol කියන එකේ සිංහල අදහස පෙරාතු කොළය කියන එක. මේක තේරුම් ගන්න අරිසෙන් අහුබුදු මහතාව හමුවන්න වෙනවා..


protocol කියන එක ආවේ protocollon කියන Greek වචනයකින්
protocol  definition එකේ තියෙන්නේ a protocol  is the special set of rules that end points in a telecommunication connection use when they communicate. මේකේ special set of rules කියන්නේ විශේෂ වූ නීති පද්ධතියක් කියන එක. වචනයේ පරිසමාප්තාර්තයෙන්ම කියනවනම් protocol කියන්නේ නීති පද්ධතියකින් සමන්විත භාෂාවකට කෙනෙක් තවත් කෙනෙකුට කතා කරනකොට අනෙක් කෙනාට තේරෙන භාෂාවකින් කතා කරන්න ඕනේ නැත්නම් අනෙකාට මේලෝකේ දෙයක් තේරෙන්නේ නෑ... සිංහල භාෂාව කියන්නෙත් ඒ වගේ protocol එකක් තමයි සිංහලෙන් චීනෙකුට කතා කලාට වැඩක් නෑ. ගොළු කෙනෙක් සිංහල, දෙමළ, ඉංගිරිසි මේකිසිම දෙයක් දන්නේනෑ... මේ ලෝකේ සිටින සියඵ දෙනාටම තේරෙන එකම භාෂාව වන සංගීතයත් මේ අයට තේරෙන්නේ නෑ. හේතුව ඉතින් කන් ඇහෙන්නැති එකනේ... ගොළු අය පාවිච්චි කරන්නෙත් ඒ අයටම ආවේනික වුනු ප්‍රොටෝකෝල් එකක් (sign language). 

ඔන්න ඔය වගේ කාරණා හේතුකරගෙන බැලුවහම කතාකරන කෙනා අහන කෙනාට තේරෙන භාෂාවකින් කතා කරන්නම ඕනෙ නැත්නම් communication එක ෆේල් වෙනවා....එසේනම් දෙන්නා අතර යම් භාෂාවක සම්මතයක් තවත් විදිහකට කියනවානම් දෙදෙනාටම පොදුවූ නීති පද්ධතියක් පිහිටුවා ගත යුතුයි. TCP/IP කියන්නේ මුළු ලෝකෙටම පොදුවූ නීති පද්ධතියකින් සමන්විත ප්‍රොටෝකෝලයක්.... මෙහිදී යම්  bit pattern එකක් send කරපුවහම receiver එකට පුළුවන් එවපු දේ තේරුම් ගැනීමට,

මෙන්න මේ ප්‍රොටෝකෝල් වල තවත් වැදගත් කාරණයක් තියෙනවා..... උදාහරණයක් විදිහට register post ලියුමක් තැපැල් කරන එකක් ගමු. අපි හිතමු  මාමෙකුට ලියුමක් ලියනවා කියලා.... ඹන්න ඉතින් කොළයක් අරගෙන ආදරණීය ................. මාමේ සැප සනීප කොහොමද? මම නම් සුවෙන් සිටිමි. ලා බ්ලා බ්ලාලා..... කියලා ඉවර කරලා ඕක ලියුම් කවරයක දාල ඒ කවරයේ දකුණු පැත්තෙන් මාමගේ ලිපිනය (Address) එක ලියලා වම් පැත්තෙන් තමන්ගේ ලිපිනය ලියලා මුද්දරය දකුණු පැත්තේ උඩින් ගහලා post කරනවා. ඕකනේ සාමාන්‍ය සිරිත. බැරි වෙලාවක්වත් ලිපිනයේ පැති දෙක මාරු උනොත් තමන්ගේ ලියුම තමන්ටම එනවා... මේකෙන් තේරෙනවා ඇතිනේ ලියුමක් වගේ දෙයක් යවනකොට එයටම ආවේනික වූ ක්‍රමවේදයක් procedures අනුගමනය කළ යුතුයි. protocol වලදිත් ඒ වගේමයි එයට අදාල වූ procedures අනුගමනය කළ යුතු.....මයි......


ඕනෑම කෙනෙකුට තමන්ගේ අවශ්‍යතාවය අනුව තමන්ටම කියලා protocol එකක් සාදාගන්න පුළුවනි.  තමන්ගේම project එකකදී equipment අතර internal communication වලට Protocol එකක් design කරගත හැකියි.... නමුත් ලොකේ සිටින අනෙකුන් අතර සිදුවන communication  වලදී ලොවම පිළිගත් protocol පාවිච්චි කිරීම අනිවාර්යයි.. ඒ වගේ list එකක් තමයි පහතින් දිස්වෙන්නේ..

SMTP - Simple Mail Transfer protocol (විද්‍යුත් තැපැල් සදහා)
HTTP- Hypertext Transfer protocol (අන්තර්ජාල සේවාවන් වලට)
FTP -File Transfer protocol (ලිපිගොනු හුවමාරුවලට)
SIP - Session initiation protocol (internet telephony වලදී signaling කටයුතු වලදී භාවිතායට)
DHCP - ෘynamic host configuration protocol (ip address ඔටෝමේට් automate කරගැනීමට)
ICMP- Internet Control Message Protocol

මේ වගේ තව ගොඩාක් තියෙනවා මේවා එකින් එක තවත් නෙට්වර්ක් පන්තියකදී කතාකරමු....







Tuesday, August 9, 2011

Bandwidth පැටිකිරිය

මගේ දෙවෙනි post එක ඉක්මනටම දාන්න තීරණය කලා.... පළවෙනි Post එකට ප්‍රතිචාර නම් අඩුයි ඒත් සැලෙන්න නරකයි කියලා කියමනක් තියෙනවානේ.... දැන් මාතෘකාවට බහිමුකෝ, ලොකු ලොකු දේවල් ඉගෙන ගන්න කලින් පොඩි පොඩි දේවල් ඉගෙන ගන්න ඕනනේ.... පොඩියි කියලා කිව්වට මේවා හරිම වැදගත්, ජංගම දුරකථන තාක්ෂණය(mobile communication Technology) පරිඝනක ජාලකරණය (computer Networking) මේ මොන දේටත් මෙන්න මේ Bandwidth සම්බන්ධයිනේ. මේකට එක තේරුමක් කියලා නෑ. එක එක අවස්ථාවට විවිධ විවිධ තේරුම් තමයි තියෙන්නේ.

  1. Analog Bandwidth 
විදුලි හෝ රේඩියෝ සංඥා (signal processing) සලකා බැලීමේදී bandwidth වල සිංහල අදහස කලාප පළල කියන එකයි.  frequency Bandwidth හරි Radio bandwidth  කියන්නෙත් මේකටම තමයි. සරලව කියනවනම් සංඛ්‍යාත වර්ණාවලියේ (frequency spectrum) යාබද සංඛ්‍යාත කට්ටලයක (set of frequencies) ඉහලින්ම පිහිටි සහ පහළින්ම පිහිටි සංඛ්‍යාත දෙක අතර වෙනසට තමයි මේ Analog Bandwidth කියන්නේ මේවා මනින්නේ hertz වලින්...
උදා:-  VHF (very high frequency) Bandwidth = 7MHz
         UHF (Ultra high frequency) Bandwidth = 8MHz
         TelePhone Line voice Bandwidth =4KHz


2.  Digital Bandwidth
පරිඝනක විද්‍යාව හෝ පරිඝනක ජාලකරණය (computer Networking) සැලකීමේදී Bandwidth කියන්නේ ලබාගතහැකි හෝ  ලබාගනිමින් පවතින දත්ත වේගය (rate of data transfer). ඇත්තටම කියනවනම් මේ කියන්නේ speed එක ගැන, මේවා මනින්නේ bit/second (bps) වලින් සහ මෙහිම ගුණාකාර වලින් (kbps,Mbps). මේ යුනිට් එකේ තියෙන්නේ සිම්පල් බී (b) ඒ කියන්නේ බිට්ස් මිසක් බයිට්(byte) නෙමෙයි. සමහරු කියන්නේ හර්ට්ස් (Hz) වලින් මනින එක bandwidth ලු මේක bit rate එකලු, ඇත්තටම එහෙම නෙමෙයි මේ දෙකම (Digital & Analog) Bandwith තමයි...... 

උදා:-
1. එකක් තමයි Dialog  ලා Mobitel ලා 7.2Mbps කියන HSDPA ස්පීඩ් එක හැබැයි අපිට 512Kbps වත් නෑ... 
2.Modem / Dialup = 56Kbps
3. Wireless IEEE802.11b = 11Mbps
4. Wireless IEEE802.11g = 54Mbps
5.Wireless  IEEE802.11n = 600Mbps අළුත්ම Standard එක 
6. Wireless IEEE802.16 = 54Mbps (Wi-Max) කියන්නේ මේකටනේ

අදට ඇති දැන්නම් මට නිදිමතයි...........................




































































Friday, August 5, 2011

ලෝකයේ හොඳම virus guard එක

මම බ්ලොග් එක පටන් ගත්තේනම් Network ගැන ලියන්න ඒත් මුලින්ම දාන්න වෙන්නේ වෙන විදිහක post එකක්. හේතුව කියන්නම්කෝ, අපේ office එකේ දෙන්නෙක් අතර සිදුවුනු සංවාදයක් තමයි ඇත්තටම හේතුව ඒ ළග මමත් හිටියා.. දෙන්නා කතා කළේ virus guard ජාති දෙකක හොඳ නරක, නම් කියන්න ඕනේ නෑනේ (kaspersky, avira, avast, bit defender,) වගේ ගොඩක් තියෙනවනේ..... ඔන්න ඕකයි නිධාන කතාව 


දැන් කියන්නම්කෝ මගේ අදහස, virus පැතිරෙන හැටි වැඩිය කියන්න අවශ්‍ය නෑ අත්විඳලා ඇති කියලා හිතනවා...... 



මමනම් කියන්නේ හොඳම  virus guard එක තමයි genuine operating system (OS) එකක් පාවිච්චි කරන එක. හේතුව තමයි virus guard එකක් virus අල්ලන්නේ virus pattern එක අනුවයි. හැබැයි virus වලට පුලුවන් ඒ pattern එක skip වෙන විදිහට script ලියලා  Virus guard එකට ගේමක් දෙන්න. ගොඩාක් වෛරස් මේ විදිහට තමයි කරන්නේ... එතකොට වෙන්නේ virus guard එක fully update කලත් වෛරස් එකක්වත් අල්ලන්නේ නෑ....

අනික් කාරනය තමයි වෛරස් එකක් හැමවිටම system file එකක් අස්සට වෙලා තමයි ඉන්නේ, මේකට කියන්නේ piggyback වෙනවා කියලයි... virus guard මේවා ඇල්ලුවත් මකන්න විදිහක් නෑ.... මැකුවොත් OS එක
ලෝඩ් වෙන්නේ නෑ... ඉතින් system file අඩුද වැඩිද කියලා හොඳටම දන්නේ operating system හදපුඅය මිසක් කොහේවත් ඉන්න Virus guard කම්පනි එකක් නෙමේ නේද? කවුරු කොහොම ඔලුවෙන් හිටගෙන කිව්වත් ඇත්ත කතාව මේකයි... ඒකට තමයි Microsoft  සමාගම security essential හදලා තියෙන්නේ මේක දාන්න genuine OS එකක් ඕනනේ...   

Virus වලින් තොර system එකක් සාදාගැනීමට ක්‍රම 
  1.  genuine operating system එකක් පාවිච්චි කිරීම ටොරන්ට් එකකින් බාලා crack කරපු එකක් නෙමෙයි.. සල්ලිවලට අරගත්තු එකක් ගැනයි මේ කියන්නේ.... මේහෙම කියන්න හේතු තියෙනවා....පහල ඇති දේ කියවලා බලන්නකෝ....  
  2. ටොරන්ට් එකක් දාන මිනිස්සු OS එක hack කරලා එයාලට ඕන software ඇතුලට දාලයි අපිට එවන්නේ.. එහෙම කරන්නේ අපිට ආදරේට නෙමෙයි එයාලට bot net එකක් හදාගන්න. මේක ලොකු දිග කතාවක් සරලව කියනවනම් අපි internet ලොග් උනහම Hacker කරන්නේ එයාගේ වැඩ වලට අපේ processing power එකත් use කරන එක. ඒකෙන් වෙන්නේ අපේ Machine එක slow වෙන එක. ඒ නිසා පුලුවන් තරම් software download කරනකොට ඔරිජිනල් site එකෙන් පමණක් බාන්න පුරැදු වෙන්න... 
අදට ඇති ආයෙත් දවසක හමුවෙමු....        



Wednesday, July 13, 2011

ක්ෂේම භූමිය

       ඹන්න ඉතින් මමත් හා හා පුරා කියලා බ්ලොග් එකක් පටන් ගත්තා... හා හා පුරා කියලා කිව්වට කලිනුත් හැදුවා ඒවට log උනේ මම විතරයි තිබුනේ Title එක විතරයි. දැන්වත් හරියට එකක් කරන්න බලමු.... මේකට දාන්න හිතාගෙන ඉන්නවා එක එක ජාති Data communication & Networking, Telecommunication ඔන්න මේක අස්සේ තව ගොඩක් දේවල් තියෙනවනෙ 3G,   HSDPA, HSPA, HSPA+ , 4G, අරව මේවා හැම දේම දාන්න තමයි හිතාගෙන ඉන්නේ...... හික් හික්..   
       Network ගැන නම් කියලා නිමක් නෑනේ OSI Layers ද, TCP/IP ද, IP address ද, තව තව........ ආ cisco එයා ගැනත් දාන්නම එපැයි.. 
ඉඩක් ලැබුනොත් කවියක් සිංදුවකුත් දාමු.